Tuesday, March 23, 2021

ලංකාවේ බස්

අවුරුදු පහක් මමත් ලංකාවෙ බස් ගමනාගමනය අත්වින්දා කතරගම කොලඹ බස් වලින්. රස්සාවට යායුතු නිසා නැග්ගට බහිනකල් ජීවිතේ විශ්වාස නෑ... අම්බලන්ගොඩින් මම කතරගම බස් එකට නගින්නෙ රෑ දෙකට. ඒ නැගලා වාඩි උනාම මුල් කාලෙනම් නින්ද යන්නෙම නෑ... මොකද කියනවානම් පාරෙ යනවාද එහෙමත් නැතිනම් ඉගිල්ලෙන්න බලාගෙන රනවේ එකක යනවද කියලා තෝරාගන්න බෑ.. බස් එක ඇතුලේ තියෙන පාට පාට එලි හඳුන්කූරු සුවඳත් එක්ක මිශ්ර උනාම දැනෙන්නේ දේවාලෙක ඉන්නවා වගේ හැඟීමක්. මිනිස්සු ගැන කෙසේ වෙතත් යන්ත්රයක්, එන්ජිමක් ගැන සෙන්ස් තියෙන මිනිස්සුන්ට එහෙම වාහනයක් එලවන්න බෑ.. ඇක්සිලේටරේ පෑගුවාම ඒ විධානයෙන් කැරකෙන්නට පටන් ගන්න කොටස් සියල්ලම යාන්ත්රිකයි. ඔනෑම යන්ත්රයකට ක්රියාත්මකවීමේ සීමාවක් තියෙනවා කියන එක ලංකාවෙ දුරගමන් සේවා පදවන උදවියට දැනෙන්නෙ නැද්ද නොදැනෙනවා වගේ ඉන්නවාද කියන එක ප්රශ්නයක්. මුල් කාලෙ නින්ද නොගියට පසු කාලීනව බස් එකට නැගලා විනාඩි දහය යද්දි මං දොයි.. උඩ එල්ලලා තියෙන බෆල් පෙට්ටියෙන් එන සිරි සිරි සද්දෙ (සිංදු ඇහෙනෙ නෑ.. ඇහෙන්නෙ සිරි සිරි ගාන සද්දයක් විතරයි) පරයන්න ඇහෙන එන්ජිමේ ඩ්ර්ර්ර්ර්ර්ර්ර් සද්දෙ එක්ක නිදාගන්න එක, කාලයක් හුරු උනාම සිම්පල්.. බස් එකේ පොලොවට ගහලා තියෙන ඇලුමිනියම් තහඩුව යට තියෙන චැසියට යටින් කැරකෙන ප්රොප්ලර් ශාෆ්ට් එකේ යුනිවර්සල් ජොයින්ට් (ඕකට සිංහලෙන් කියන්නෙ සර්වලෝක පූට්ටුව කියලා) වලින් එන භයන්කාර දෙදරීම දැනෙද්දි එන්ජිමේ ඩ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් සද්දයෙන් දැනෙන භය දෙගුන තෙගුන වෙනව.

මෝටර් කාර්මික වද්යාව හදාරලා තියෙනවා උනත්, එන්ජිමක ක්රෑන්ක් එකකට, එන්ජිම ඇතුලේ ක්රෑන්ක් එකට සම්භන්ධ කරලා තියෙන අනෙකුත් කැරකෙන දේවල් වලට, ක්රෑන්ක් එක කරකවන්න ඉහල පහල දුවන පිස්ටන් වලට, එන්ජින් හෙඩ් එකේ වෑල් ටිකට, ඒ වෑල් අරින්න ඉහල පහල යන පුශ් රොඩ් වලට, පිස්ටන් වලට බලය දෙන්න ඩීසල් ගේන ඩීසල් පොම්පෙට, ඒ ඔක්කොම බලගැන්වුනාම කරකැවෙන ගියර් පෙට්ටියේ වීල් වලට, එතැනින් රෝද වලට බලය ගෙනියන ප්රොප්ලර් ශාෆ්ට් එකට, රෝදවලට නියමිත අනුපාතයට බලය බෙදාහරින ඩිෆරන්ශල් (differential ) එකට, ඒ තරම් වේගයෙන් කැරකෙන්න හෙලවෙන්න ඉහල පහල යන්න හයියක් තියෙනවද කියලා සැක හිතෙන වාර අනන්තයි අප්රමාණයි...

ප්රමිතියට හදපු ජපන් වාහනයක පැයට කිලෝමීටර් සීයට යද්දී දැනෙන හැඟීමට වඩා ඉංදියන් බස් එකක සීයට යද්දි දැනෙන හැඟීම සීයට දාහක් වෙනස්. මෝටර් යාන්ත්රික විද්යාව හදාරපු උදවියට ඔය දැනෙන හඟීමේ වෙනස අති විශාලයි කියලයි මගේ හැඟීම. ඉංදියන් බස් එකක් සීය එකසිය විස්ස පැන්නාම සමහර වෙලාවට විද්යාවේ සමහර මූලධර්ම වැරදිදෝ කියලත් හිතෙන වාර අනන්තයි.

රෑට දවල්ට කියලා දුරගමන් සේවා ධාවනයේ ලොකු වෙනසක් නෑ.. ට්රැෆික් හෝ ටයිමින් නිසා හිමින් යනවා විනා පාර ඉඩ තියෙනවනම්, ටයිමින් අවුලක් නැතිනම් ඔව්ව ඉගිලෙනවා විනා හෙමින් යාමක් නෑ. වමට තියෙන වංගුවේ නීතියට වමෙන් යන්නවා වගේම දකුනට තියෙන වංගුවේ උන් යන්නෙ දකුනෙන්. මාර්ග නීති, වේග සීමා ඒ පයිලට්ලාට අදාල නෑ. රෑට විශේශයෙන් එයාලට පාරෙ මංතීරු කියලා දෙයක් නෑ.. පාර කියන්නේ එකම යායක් විතරයි. කොන්දොස්තර එන්ජිම උඩ වාඩියක් ගහගෙන ෆන් එකේ ඉද්දි දොරේ ගෝලයාගෙ ඇඟෙන් භාගයක් එලියෙ හුලඟට ලෙලදෙනව. බස් ගැන බ්ලොග් පෝස්ට් ගානක් ලියලා තියෙන නිසා වැඩිය බස් අටුවා ටීකා ආයෙම ලියන්න කම්මැලියි.

කාලයක් ඕකක් එලවපු මගේ මිත්රයෙක් ඊයෙ කිව්වෙ ලේලන්ඩ් එක පාරෙ තාර කට්ටෙ පැන්නොත් ස්ටියරින් එක ඇතෑරෙනවා කියලයි. තාර කට්ටය පැන්නාම ස්ටියරින් එකට දැනෙන දෙදරීම අත් දෙකට දරාගන්න බෑ කියලයි මගේ මිත්රයා ඊයෙ මා එක්ක කිව්වෙ. එහෙම තත්වයක් යටතේ ලුණුගල කොලඹ බස් එක එන වේගෙත් එක්ක තාර කට්ටය පනින නිසා ඒ තත්පරයෙන් රථය පාලනය කරගන්න රියදුරාට හැකිවෙන්න විදිහක් නෑ..

පාරෙ වාහන එලවද්දි නීති වගේම රීතිත් වැදගත්. පොලිසියෙන් දඩ ලියද්දි ලයිට් එක ගහලා හෙමින් පලයන් කියන්නෙත් එහෙව් රීතීන් අපේ රියදුරන් අතර තියෙන නිසා.. කන්දේ රීතිය කන්ද අදින කෙනාට වාසි වෙන්න හැදිච්ව එකක්. කන්ද අදින්නෙ ටිපර් රථය නිසා ටිපර් රථයේ රියදුරා කන්දේ සාම්ප්රදායික රීතිය බලාපොරොත්තු උනා වෙන්න පුලුවනි. කඳු පලාත්වල රිය ධාවනයේදී පාර ඉඩ මදිනම් කන්ද අදින කෙනාට ඉඩ ලබාදීම පලපුරුදු රියදුරන්ගේ පුරුද්දක්. රීතියට , සම්ප්රධායට අනුව බස් රියදුරා ඈත තියාම නවත්වාගෙන ටිපර් රථයට ඉඩ ලබාදිය යුතුයි. ඒත්, නීතියට අනුවනම්, පාරේ ඉඩ ඇහිරිලා තියෙන්නෙ ටිපර් රථයට අදාල මංතීරුවේ නිසා, ටිපර් රථය නවත්වාගෙන බස් රථයට ඉඩ ලබාදිය යුතුයි. නීතිය ඉදිරියේ රීතීන් වලට තැනක් තියෙනවද නැද්ද කියලා හරියටම කියන්න මට නීතිය ගැන දැනුමක් නෑ.. ඒත් රීතියට, සම්ප්රධායට අනුවනම්, බස් රථයේ රියදුරාට තිබ්බේ වාහනේ නවත්තලා කන්ද අදින කෙනාට ඉඩ දීලා තමුන්ගේ ගමන යන්න.. අනතුරට හේතුව බස් රියදුරාගේ හදිසියද, මෝඩ කමද, අත්දකීම නැතිකමද, අනෙකාට පෙර තමා කියන ආත්මාථකාමීකමද කියලා දන්නේ බස් රථයේ රියදුරාම පමණයි. හේතුව මොක උනත් වටිනා ජීවිත රැසක් අහිමි වෙලා ඉවරයි...

ඔය කිව්ව බස් ක්රෑශ් ටෙස්ට් කරලා, රිසර්ච් කරලා, කිරලා, මැනලා, හදපුවා නෙවෙයි. ඒ නිසා බොහෝ මෙවලම් විද්යානුකූලව නිශ්පාදිතයි කියලා කියන්න බෑ. ලොරි චැසියකට ටකරන් බොඩියක් ගහලා ඒකට සීට් ටිකක් හයි කරාම, අපේ රටවල රජයන් එව්වයෙ මගීන් ප්රවාහනය කරන්න අවසර දුන්නට, දියුනු රටවල ඔය වගේ යන්තර වල මගී ප්රවාහනය කරන්න අවසර ලැබෙන්නෙ නෑ. ප්රමිතියක් නැති වාහන දියුනු රටවලින් ආනයනය කරන්නෙ නැති උනාට ලංකාවෙ එව්වට නීති රෙගුලාසි බොහෝම දුර්වලයි. එව්ව ඉතින් අවුරුදු හැත්තෑ තුනක් රට පාලනය කරපු හැමෝටම සම සමව බෙදී යායුතු චෝදනා. ඉංදියාවෙ හදන ප්රමිතියක් නැති වාහන අපනයනය කරන්න පුලුවන් වෙන්නෙ අපේ වගේ මී හරක් පාලනය කරන රටවලට පමණක් නිසා අපි වගේ රටවල් දියුනු වෙනවාට ඉංදියාව කීයටවත් කැමති වෙන්නෙ නෑ. මොකද අපි දියුනුවෙලා ප්රමිතිගත වාහන විතරක් ආනයනය කරන තැනට නීති හැදුනොත් ඉන්දියාවේ කුනුගොඩවල් කාට අපනයනය කරන්නද.. එව්ව ගැඹුරට හිතන්න ඕන දේශපාලනික කාරනා උනාට තර්කානුකූලව හිතන්න පුලුවන් එවුන් අපේ රටේ පාලන තන්ත්රයේ නෑ.. ඒ කතාව වලංගු වෙන්නෙ ඉංදියන් බස් වලට විතරක් නෙවෙයි. ඉංදියානු ලේබලයන් යටතේ ලංකාවට එන සියලූම වාහනවල ප්රමිතිය ගැටලු සහගතයි. පුද්ගලිකව මමනම් හතුරෙකුටවත් ඉන්දියන් වාහනයක් ගන්න අනුබල දෙන්නෙ නෑ.

Passenger transport හෙවත් මගී ප්රවාහනය කියන මාර්තෘකාවට අදාලව ලංකාවෙ නීති රීති තියෙන්නෙත් බොහොම දුර්වල මට්ටමක. දියුනු රටවල මගී ප්රවාහනය කරන රියදුරන්ට විශේශ බලපත්රයක් අවශ්යයි. බස් රථයක් පදවන්න රියදුරු බලපත්රයක් තිබූ පමණින් රියදුරන්ට මගී ප්රවාහනයට නීතියෙන් අවසර ලැබෙන්නෙ නෑ. ඒ කියන මගී ප්රවාහනයට අදාල බලපත්රය ගන්න ඒ සම්භන්ධව ප්රමාණාත්මක අධ්යාපණයක් සහ ඊට අදාල විභාගය සමත්වීම අනිවායෙන්ම කලයුත්තක්. දියුනු රටවල බස් රථ තියා ටැක්සියක්වත් එලවන්න ඒ අදාල බලපත්ර නැතුව බෑ. ඒ නිසා තමයි දියුනු රටවල මගී ප්රවාහන රියදුරන් සහ ලංකාවෙ මගී ප්රවාහන රියදුරන් අතර ලොකු වෙනසක් දකින්න තියෙන්නෙ. අනෙකාගේ ජීවිතය ගැන තීරණ ගන්න පුලුවන් රැකියාවල් කරන උදවියගේ වෘත්තීමය සුදුසුකම් ගැන රටක පාලකයන් මීට වඩා බුද්ධිමත්ව හිතන්න ඕන කියන එකයි මගේ පුද්ගලික අදහස. තේ බොන කඩෙන් නොමිලේ කාලා, නොමිලේ සිගරට් එක බීලා, (නොමිලේ ලැබෙනඅනික්වා මෙහිලා ලියන්නෙ නෑ) වගකීම් විරහිතව වාහනයක් එලවගෙන ගිහිල්ලා ආතල් එකේ වාහනෙන් බැහැලා යන විදිහේ රැකියාවක් නෙවෙයි රියදුරු රැකියාව. ඒත් රටේ අවාසනාවට ඒක එහෙම වෙලා. 100% ක් වගකීමෙන් රිය පදවන රියදුරන් බොහොම කලාතුරකින් ඉන්නවා උනාට 99% අයත් වෙන්නේ වගකීම් විරහිත කොටසටයි. .. ඒ ගැන මමනම් ඇඟිල්ල දික් කරන්නෙ අවුරුදු හැත්තෑ තුනක් රට කරවන සහ කරවපු උදවියට තමා.. ඊට එහා ඒ ගැන ලිව්වොත් මේක දේශපාලනික පෝස්ට් එකක් වෙන නිසා ඒ ගැන ලියන්නෙ නෑ.

මමත් ඔය ජාතියේ බස් එකක ඩ්රයිවින් සීට් එකේ දෙවතාවක් විතර වාඩිවෙලා පොඩි දුරක් එලවලා තියෙන නිසා අත්දැකීමෙන් කියන්නෙ, ඔය සීට් එකේ වාඩි උනාම දැනෙනෙ බස් ඇරුනාම ලෝකෙ ඉන්න අනික් සියලූම රියදුරන් කුරා කූඹි ගානට. කාර්, වෑන්, ත්රීවීල්, මෝටර් සයිකල්, පාරෙ යන පදිකයන් කුරා කූඹින් ගානටවත් දැනෙන්නෙ නෑ. ඒ තරමට ඔය යන්තරේ ඇඟට ආරූඩ වෙන්නම හදපු එකක්. ශේප් එකේ ඩීල් කරගන්න තියෙන එකම මෙවලම බ්රේක් පැඩල් එක පමණයි. ඇගේ හයියට බ්රේක් පෑගුවොත් පස්සෙම සීට් එකේ වාඩි වෙලා ඉන්න මගියාත් ඉස්සරහ වීදුරුව කඩාගෙන එලියට විසික් වෙන තරම් එයාර් බ්රේක් පද්ධතිය බලවත්. ABS වගේ දියුනු තාක්ශණ එව්වයෙ 2010 වෙනකල්නම් තිබ්බෙ නෑ.. අන්තිමට ඕකක ගියේ 2010 නිසා ඕකෙ තාක්ශනයේ දියුණුව ගැන යාවත්කාලීන දැනුමක් මට නෑ. ඉංදියානු යන්ත්රෝපකරණ හැදෙන විදිහ ගැන කාලෙකට කලින් ඉංදියාවෙන්ම ලැබිච්ච පුහුනුවක් සහ අත්දැකීම් සභාරයක් තියෙන නිසා ඉංදියානු බස්, ලෝකෙ තාක්ශණය එක්ක ඉස්සරහට ගිහින් ඇති කියලා හිතන්න නම් අමාරුයි.

පාරෙ යන හැමදෙනාටම පොදුවේ දෙන අවවාදයනම්, ලංකාවෙ දුවන බස් එක්ක සෙල්ලම් කරන්න එපා. ඒ බසුත්, එලවන උදවියත් දෙගොල්ලොම ඕක හප්පගන්නෙ නැතුව ගමනාන්තයට යන්නෙ පාරෙ යන අනික් මිනිස්සුන්ගෙ වාසනාව එයාලගෙ අවාසනාවට වඩා බලවත් නිසා..

අලුත් රියදුරන්ගෙන් පොදුවේ ඉල්ලන්නෙ.. කදු පලාතක වාහනේ එලවද්දි, කන්ද අදින කෙනාට ප්රමුඛත්වය දෙන එක තමා අපේ සම්ප්රදාය. ඒකට ටිකක් ගරු කරන්න. වාහනයක් කන්දක ඉහලට එද්දි පාරේ ඉඩ මදිනම් කන්ද බහින කෙනා ඉඩ තියෙන තැනකින් වාහනය නවතාගෙන කන්ද නගින කෙනාට ඉඩ හසර සලාසාදීම තමා අපේ පුරුද්ද සහ සම්ප්රධාය.. වාහනවලට රිවස් ගියර් එකක් තිබ්බට පදවද්දි රියදුරන් ගන්න තීරණ වලට රිවස් ගියර් එකක් නෑ. ඒ නිසා අනෙකාගේ ජීවිතයේ ආරක්ශාව සහ පහසුව ගැනත් හිතන එක රියදුරෙකුට තියෙන්න ඕන උතුම් ගුනාංගයක්.

(2021 මාර්තු 20 දින පස්සරදී සිදුවූ බස් අනතුර උක්තකොට ලියූවකි.. )